වසර 25ක් පුරාවට නොසැලෙන විශ්වාසය, අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට පාරිභෝගික සේවය සඳහා නම් දැරූ මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන HNB Assurance PLC සමාගම, සිය රජත සංවත්සරය සනිටුහන් කරමින් නව ආයතනික අනන්‍යතාවය එළිදක්වීමට පසුගියදා කටයුතු කළේය.

හුදෙක් වෙළඳ නාමයේ හෝ පෙනුමේ වෙනසකට සීමා නොවූ HNB Life නව සන්නාම අනන්‍යතාවය, පසුගිය වසර කිහිපය තුළ අත්පත් කරගත් ශීඝ්‍ර වර්ධනය, ශක්තිමත් වෙළඳපල ස්ථාවරත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීයතාවය මත පදනම් වූ සැලසුම්ගත උපායමාර්ගික පරිවර්තනයකි.

පියාපතක හැඩය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති HNB Life නව ලාංඡනය, පාරිභෝගිකයින් සවිබල ගැන්වීමේදී සමාගම ඉටුකරන ක්‍රියාකාරී භූමිකාව සංකේතවත් කරයි. තමන් කැමති පරිදි, තමන්ගේම අරමුණු කරා විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට පුද්ගලයින්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට ආයතනය දක්වන කැපවීම එයින් පිළිබිඹු වේ.

ප්‍රධාන පාර්ශවකරුවන්, උපායමාර්ගික ව්‍යාපාරික හවුල්කරුවන්, හිතවතුන් සහ සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදී මෙම නව අනන්‍යතාවය නිල වශයෙන් එළිදක්වන ලදී.

එහිදී අදහස් දක්වමින් සභාපති ස්ටුවර්ට් චැප්මන් මහතා මෙම පරිවර්තනයේ වැදගත්කම අවධාරණය කළේය. “අපගේ 25 වසරක ප්‍රගතිය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී, HNB Life ලෙස අප සිදුකරන පරිවර්තනය, අපගේ පාරිභෝගිකයින්ගේ සහ වෙළඳපොළේ වෙනස් වන අවශ්‍යතා සමඟ ඉදිරියට යාමේ උපායමාර්ගික අභිලාෂය පෙන්නුම් කරයි,” යැයි ඔහු පැවසීය.

“ඕනෑම අවස්ථාවකදී ආරක්ෂාව සහ දියුණුව කරා යාමට ඇති නිදහස සමඟින් ජීවිත සවිබල ගැන්වීමේ ප්‍රමුඛයා වීම” HNB Life සමාගමේ නව දැක්මයි.

“මෙම දැක්ම හුදෙක් වචන එකතුවක් නොව, අපගේ ඉදිරි ගමන මෙහෙයවන මාලිමාවකි. ඒ වගේම අපගේ නව සන්නාම අනන්‍යතාවය වෙළඳනාමයේ හෝ ලාංඡනයේ පෙනුමේ වෙනසක් පමණක් නොවේ. එය වඩාත් තියුණු දැක්මක් සමඟ අනාගතය ජය ගැනීමට අපට ඇති අධිෂ්ඨානයත්, අප හා සබැඳි සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටුවන සමෘද්ධිමත් අනාගතයක් උදා කිරීමේ අපගේ කැපවීමත් සංකේතවත් කරයි. රක්ෂණය සරල, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ මෙරට ජනතාවගේ දෛනික අභිලාෂයන් සමඟ බැඳුණු සේවාවක් බවට පත් කිරීම අපගේ අරමුණයි.”

සමාගමේ අනාගත ගමන් මඟ පිළිබඳව අදහස් දක්වමින් විධායක අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා මෙසේ පැවසීය: “වර්තමානයේ අපගේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇත්තේ HNB Life සමාගම පාරිභෝගිකයින්ට අර්ථවත් සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබාදිය හැකි, ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ආයතනයක් බවට පත් කිරීම වෙතයි. මෙම පරිවර්තනය හරහා, ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය තුළ වඩාත් සාර්ථකව සහ ප්‍රතිචාරාත්මකව ක්‍රියා කිරීමට අපට ඇති හැකියාව තහවුරු වේ.”

#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version