දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් සකස් කරන ලද “Tobacco Free Generation” විද්‍යාත්මක යෝජනාවලිය සහ සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත නිල වශයෙන් බාර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙම සංකල්ප පත්‍රිකාවේ මුලික අරමුණ වී ඇත්තේ, 2010 වර්ෂයෙන් පසු උපන් මෙරට සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඒ අනුව, මෙම පත්‍රිකාව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල්. අමිල ඉසුරු යන විද්වතුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා වෙත පිළිගැන්වූවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ද එක්ව සිටියා.
අනාගත පරපුර දුම්කොළ උවදුරෙන් මුදා ගැනීම සඳහා ගත යුතු ප්‍රධාන පියවර දෙකක් මෙහිදී අවධාරණය කෙරිණා. දැනට පවතින දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සහ “දුම්කොළ රහිත අනාගත පරපුරක්” යන සංකල්පය දෙක යටතේ නිශ්චිත වයස් සීමාවකට පසු උපදින දරුවන්ට දුම්කොළ නිෂ්පාදන සඳහා ඇති ප්‍රවේශය සහ භාවිතය නීත්‍යානුකූලව තහනම් කිරීම එම පියවර දෙකයි.
ලෝකයේ රටවල් රැසක් මේ වන විටත් මෙම නීතිය සම්මත කරගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙරට සිදුවන මරණවලින් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් බෝ නොවන රෝග නිසා සිදුවන බවත්, එයට ප්‍රධානතම හේතුව දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මෙහිදී පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් මිය යන සංඛ්‍යාව 22,000කට ආසන්න වන අතර , ලෝක ව්‍යාප්තව වසරකට මිලියන 80ක් පමණ දුම්කොළ භාවිතය නිසා මිය යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
පාසල් පද්ධතිය තුළ තරුණ දරුවන් අතර දුම්වැටි භාවිතය යම් ප්‍රමාණයකින් ඉහළ යමින් පවතින බව රජරට විශ්ව විද්‍යාලයේ එල්.එල්. අමිල ඉසුරු සඳහන් කළා.
දුම්කොළ හා මධ්‍යසාර යනු අනෙකුත් බරපතල මත්ද්‍රව්‍ය සඳහා යොමුවන පළමු ප්‍රවේශය බව ද ඔහු පෙන්වා දුන්නා.
මෙම වැඩපිළිවෙළ පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, සෞඛ්‍ය සම්පන්න අනාගතයකට ඇති බාධක ඉවත් කරමින් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීමට මෙම සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව දන්වා සිටියා.

