හම්බෙගමුව උණ කන්ද රක්ෂිතයේ මහා පරිමාණයේ ගංජා හේනක් කපා වේලා අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ වියලි ගංජා කිලෝ 406 ගෑම් 800ක්, ගංජා පැළ 12825ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව උඩවළව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එක්ව මෙම මෙහෙයුම ක්රියාත්මක කර තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය, කොළඹ ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා 58 හැවිරිදි පුද්ගලයෙක්.
වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් විසි එක් හැවිරිදි සැකකරු අලෙවි කිරීම සඳහා වියලි ගංජා පාර්සල් කරමින් සිට ඇති අතර පනස් අට හැවිරිදි සැකකරු ගංජා වගාවක් සඳහා සාත්තු කරමින් සිටි බව වාර්තා වෙනවා.
අත් අඩංගුවට ගත් වියලි ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.
වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තණමල්විල මූලස්ථාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මොණරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි කමල් එන් ගුණවර්ධන, තණමල්විල සහකාර පොලිස් අධිකාරි බී.යූ.පී. මානයන්ගම, තණමල්විල මූලාස්ථාන ප්රධාන පොලිස්පරීක්ෂක ඩි. එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් සහ උඩවලව විශේෂ බලකා කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක නුවන් කුමාරගේ ප්රධානත්වයෙන් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා බුද්ධි නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකළා.


