අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරියේදී පැමිණිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් ඊයේ( 20) දිනයේදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්ගේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි නිවසේදී පැවැති අවස්ථාවේදී.
ගල් අඟුරු වංචාවටත් වඩා නොදෙවෙනි මෙම ඉන්ධන වංචාව පිළිබඳව නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතු බවත් රටේ ජනතාව දැනුවත් කළ යුතු බවටත් මෙහිදී යෝජනා කර ඇත්තේ එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින්.

ඒ අනුව අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊට අදාල ලියකියවිලි සකස් කර පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීති විශේෂඥයන් කිහිප දෙනෙකුට විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම පැමිණිල්ල සඳහා ඒකාබද් විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අත්සන් ලබා ගැනීමේ කටයුතු භාර දී ඇත්තේ ප්‍රේමනාත් සී දොළවත්තට සහ සුගීශ්වර බණ්ඩාරටයි.

ජී. එල්.පීරිස් හිටපු අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් රට දැනුවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ වගකීමක් බවයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඒකාබද විපක්ෂ විසින් පැවැත්විය යුතු බවට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරි අබේවර්ධන විසින්.
මේ අනුව මේ මස 23 වෙනිදා කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ දී අධික මිලට ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුව ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වීමට නියමිතයි.

ඉදිරි ආණ්ඩුවකදී හෝ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැන් සිටම අදාල පැමිණිලි ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින්.

අධික මිලට ඉන්ධන මිලදී ගැනීම නිසා රුපියල් බිලියන ගණනක අයුතු ලාභයක් උපයාගෙන ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යෑමට ඉඩ ඇති බවත් ඉන් පීඩාවට පත් වන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව නිසා මෙම සියලුම කරුණු ගැන මුළු රටම දැනුවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ වගකීම බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ සවස5,00 සිට රාත්‍රී 7,30 දක්වා පමණ වේලාවක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නිමල් සිරිපාලද සිල්වා, වජිර අබේවර්ධන, තලතා අතුකෝරාල, චම්පික රණවක, ප්‍රසන්න රණතුංග, සාගල රත්නායක, ඩිලාන් පෙරේරා, නිමල් ලාන්සා, දිළුම් අමුණුගම, මහාචාර්ය චන්න ජයසුමන, සුදත් මංජුල, ප්‍රේමනාත් සී දොලොවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්වුණා.

Share.
Leave A Reply

Exit mobile version