දශකයකට පසු ඇතිවන ප්‍රබලම ‘එල් නිනෝ’ තත්ත්වය පිළිබඳ පුරෝකථනයන් හේතුවෙන් 2026 වසරේ දෙවන භාගයේදී ආසියාව පුරා උණුසුම් හා වියළි කාලගුණයක් අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන යුද්ධය හේතුවෙන් පොහොර හිඟයකට සහ ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දී සිටින ගොවීන්ට, මෙම කාලගුණික විපර්යාසය හේතුවෙන් වගා හානි සහ ආහාර සැපයුම් අඩාල වීම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවසෙනවා.
ජපාන කාලගුණ කාර්යාංශයට අනුව, උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලයේදී එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 70ක්.
චීන බලධාරීන් පවසන්නේ මෙය වසර අවසානය දක්වා පැවතිය හැකි බවයි.
මේ අතර, ඉන්දියාව වසර තුනකට පසු ප්‍රථම වතාවට සාමාන්‍ය අගයට වඩා අඩු මෝසම් වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා.
ස්විට්සර්ලන්තයේ ‘Meteomatics’ ආයතනයේ කාලගුණ විද්‍යාඥ ක්‍රිස් හයිඩ් පවසන්නේ, “ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දැනටමත් දැඩි උණුසුමක් සහ වියළි බවක් දක්නට ලැබෙන” බවයි.
මෙවැනි තත්ත්වයක් මීට පෙර වාර්තා වූයේ 2015-2016 කාලයේ ඇති වූ දරුණු එල් නිනෝ තත්ත්වය සමයේදී බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කාලගුණික ප්‍රශ්නවලට අමතරව, ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක යූරියා වෙළඳාමෙන් සියයට 30ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් පොහොර සැපයුම අඩාල වී ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ ජල හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට තිරිඟු සහ කැනෝලා වගාවන් සීමා කිරීමට දැනටමත් සිදු වී ඇති බව සඳහන්.
වියළි කාලගුණය හේතුවෙන් පාම් ඔයිල් සහ සහල් නිෂ්පාදනයට තර්ජන එල්ල වී තිබෙනවා.
මැලේසියාවේ බලධාරීන් පවසන්නේ ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් නිෂ්පාදනය සියයට 5 සිට සියයට 12 දක්වා පහත වැටිය හැකි බවයි.
ජූනි සිට සැප්තැම්බර් දක්වා පවතින මෝසම් වර්ෂාව සාමාන්‍ය අගයට වඩා සියයට 70 – සියයට 90 දක්වා අඩු විය හැකි අතර, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දැඩි නියඟයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
ලොව විශාලතම කෘෂි නිෂ්පාදන ආනයනකරුවා වන චීනයේ දකුණු දිග ප්‍රදේශවල ගංවතුර අවදානමක් ඇති විය හැකි අතර, එය සහල් සහ එළවළු වගාවන්ට හානි පමුණුවනු ඇති.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ යුරෝපයේ වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකියි.
මෙය ඇතැම් වගාවන්ට හිතකර වුවද, අස්වනු නෙළන කාලයේදී ඇතිවන අධික වර්ෂාව ධාන්‍යවල ගුණාත්මකභාවයට හානි කළ හැකි බවටයි සඳහන් වෙන්නේ.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඛනිජ රසායනික ද්‍රව්‍ය සැපයුම අඩාල වීම නිසා පොහොර මිල ඉහළ මට්ටමක පවතිනවා.
“පොහොර මිල ඉහළ මට්ටමක පවතින විට සහ වර්ෂාපතනය අඩු වූ විට, අස්වැන්න අඩු වගාවන් සඳහා අධික මිලක් ගෙවා පොහොර යෙදීමට ගොවීන් මැලි වේ. මෙය අස්වැන්න තවදුරටත් අඩුවීමට හේතු වන විෂම චක්‍රයක් නිර්මාණය කරනු ඇත,” යැයි Rabobank ආයතනයේ විශේෂඥයෝ පෙන්වා දෙනවා.

