තායිලන්තයේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා (Thaksin Shinawatra) මාස අටක සිරදඬුවමකින් පසු නිදහස ලබා තිබෙනවා.
දණ්ඩන නියමයෙන් වැළකී සිටීම සඳහා වංචනික ලෙස රෝහල්ගතව සිටි බවට අධිකරණය මගින් චෝදනා එල්ල වීමෙන් පසු ඔහුට මෙම සිරදඬුවම විඳීමට සිදු වුණා.
අද පෙරවරු 7:40 ට පමණ බැංකොක්හි ක්ලෝන්ග් ප්‍රෙම් (Klong Prem) මධ්‍යම බන්ධනාගාරයෙන් පිටතට පැමිණි 76 හැවිරිදි තක්ෂින් ශිනවත්‍රා පිළිගැනීමට ඔහුගේ දියණිය වන පැටොන්ග්ටාර්න් ශිනවත්‍රා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.
“අපි තක්ෂින්ට ආදරෙයි” යනුවෙන් හඬ නගමින් ආධාරකරුවන් ඔහුව පිළිගත් අතර, ඔහු සිය දඬුවම් කාලයෙන් තුනෙන් දෙකක් ගෙවා අවසන් කිරීම හේතුවෙන් මෙලෙස සමාව මත නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්න්නේ.
කෙසේ වෙතත්, ඉතිරි දඬුවම් කාලය තුළ ඔහු විද්‍යුත් පාද සංදර්ශකයක් (Electronic ankle monitor) පැළඳ සිටිය යුතු බව බන්ධනාගාර බලධාරීන් සඳහන් කරන්නේ.
වසර 15ක් විදේශගතව සිටි තක්ෂින් 2023 වසරේදී යළි තායිලන්තයට පැමිණියේ වසර අටක සිරදඬුවමකට මුහුණ දීම සඳහායි.
රජු විසින් ඔහුගේ දඬුවම වසරක් දක්වා අඩු කළද, ඔහු සිරගෙදර ගත කළේ පැය කිහිපයක් පමණයි.
පසුව හෘදයාබාධ පවසමින් රෝහල්ගත වූ ඔහු මාස හයක් රෝහලේ ප්‍රභූ අංශයේ රැඳී සිටියා.
ඔහු සහ වෛද්‍යවරුන් එක්ව අනවශ්‍ය සැත්කම් පෙන්වමින් හිතාමතාම රෝහල් කාලය දීර්ඝ කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීන්දු කළා.
වසර 25ක් තිස්සේ තායි දේශපාලනය මෙහෙයවූ තක්ෂින්ගේ බලය මෑත කාලීනව තරමක් හීන වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසන්නේ.
විශේෂයෙන්ම ඔහුගේ ‘පියු තායි’ (Pheu Thai) පක්ෂය මෙවර මැතිවරණයේදී ලැබූ පසුබෑම සහ ඔහුගේ දියණියට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වීම මෙයට ප්‍රධාන හේතුවයි.
කෙසේ වෙතත්, “ඔහු කළ සෑම දෙයක්ම කළේ ජනතාව වෙනුවෙන්” යැයි පවසන ඔහුගේ දැඩි ආධාරකරුවන් තවමත් විශ්වාස කරන්නේ තක්ෂින්ගේ නිදහස තායිලන්ත දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි.


