යටියන්තොට පොලිස් වසමේ හැටන් – කොළඹ මාර්ගයේ කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. 

ඊයේ (10) උදෑසන අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ අවුරුදු 14ක පිරිමි දරුවෙකු කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ රියැදුරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 59ක් වූ පරුස්සැල්ල, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යටියන්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර, ඊයේ (10)  කෑගල්ල පොලිස් වසමේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී කොළඹ දෙසට මුහුණලා මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ඊට පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම නවතා තිබූ ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන්කළ පුද්ගලයෙකු කෑගල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථයේ පසුපස ගමන්කළ අවුරුදු 59ක වේරගොඩ, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස මියගොස් ඇත. 

බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙසදී බොරැල්ල හන්දිය දෙසට ධාවනය වූ කාර් රථයක මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකු ගැටී ඊයේ උදෑසන අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 52ක් වූ කාශ්‍යපගම, හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

Exit mobile version