තමන් රාජකාරි බහුලත්වය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවට දෛනික සටහන් පොතේ (IB) සටහනක් තබා, පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල ඇඳුම් ද පොලිස් ස්ථානයේ දමා පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා.
මෙසේ සේවය හැර ගොස් ඇත්තේ අංක 107821 දරන කොස්තාපල් මළිඳු දිල්හාර නමැති නිලධාරියෙක්.
ඔහු ඊයේ (05) දින පොලිස් ස්ථානයේ දෛනික සටහන් පොතේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ, රාජකාරි කටයුතු අධික වීම නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවයි.
අනතුරුව තමන් සතු නිල ඇඳුම් සහ එහි අනෙකුත් කොටස් පොලිස් ස්ථානය තුළම දමා ඔහු පිටව ගොස් ඇතැයි පයාගල පොලිසිය පවසනවා.
පිටිගල, ඉදිපලේගොඩ ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම කොස්තාපල්වරයා 2025 ජුනි මස 08 වැනිදා පොලිස් සේවයට එක්ව තිබූ බවයි වාර්තා වන්නේ.
ඔහු පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයට වාර්තා කර ඇත්තේ පසුගිය ජනවාරි මස 21 වැනිදා.
පොලිස් නිලධාරියෙකු මෙලෙස නිල ඇඳුම් දමා සේවය හැර යාම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නිලධාරියා පත්ව සිටි මානසික පීඩනයට බලපෑ නිශ්චිත හේතු සාධක සහ ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳව සොයා බැලීම සඳහා පරීක්ෂණ ක්රියාත්මක වෙනවා.


