වත්මන් ගෝලීය යුදමය තත්ත්වය නිසා මෙරට ඉන්ධන ආරක්ෂාව තහවුරු කිරිම, ප්‍රමාණවත් සංචිත පවත්වා ගැනීම සහ අනාගතයේ දී ඇතිවිය හැකි අර්බුධයක දී ඉන්ධන කළමනාකරණය ගැන රජයේ වත්මන් ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසනවා.

මෙරටට ඉන්ධන ආනයනය ගොඩබෑම සහ ප්‍රවාහනය සදහා දැරීමට සිදුවන පිරිවැය එක් එක් ඉන්ධන වර්ගය යටතේ ඉදිරිපත් කරන ලෙසත් මේ පිරිවැය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන බවට මැතිවරණ පොරොන්දුවක් තිබුණත් එය ක්‍රියාත්මක නොවන බවත් දැන්වත් ගොඩබාන මිලටම ඉන්ධන ලබා නොදෙන හේතුව දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින් .

ඉන්ධන මත අය කරන බදු වර්ග හා ප්‍රමාණයන් එක් එක් ඉන්ධන වර්ග අනුව ඉදිරිපත් කරන ලෙසත් වත්මන් ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සඳහා යොදා ගන්නා මිල සූත්‍රය ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

මැතිවරණ සමයේ කියූ ජනතාවාදී ජනහිතකාමී වත්මන් රජයේ මිලසූත්‍රය ඉදිරිපත් කරන ලෙසත් ඉන්ධන මිල සූත්‍රය අනුව මිල ගණන් ගණනය වන ආකාරය ගැන සවිස්තර වාර්තාවක් සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

මෙරට සමස්ත පාරිභෝජනයට අවශ්‍ය ඇස්තමේන්තුගත ඉන්ධන ආදී ප්‍රමාණයන් මාසිකව හා වාර්ෂිකව ඉදිරිපත් කරන ලෙසත් පසුගිය මාස 3 මාසිකව බෙදාහැරිම සිදු කළ ඉන්ධන වර්ග මෙට්‍රික් ටොන් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් වාර්තාගත පාරිභෝජන ප්‍රමාණයන් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවා.

2026 ජනවාරි මස සිට මාර්තු දක්වා මෙරටට ආනයනය කළ සමස්ත ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙසත් ආනයනික ඉන්ධන නැව් වශයෙන් ප්‍රමාණයත් මෙරටට පැමිණි දිනයත් ගොඩබෑ ප්‍රමාණයන් සංඛ්‍යාවත් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

මෙරට භාවිත ඉන්ධන වර්ග අතරින් පිරිපහදු කර සෘජුවම ආනයනය කරන ඉන්ධන වර්ගය ඉදිරිපත් කරන ලෙසත් බොරතෙල් ලෙස ආනයනය කර මෙරට තුළ පිරිපහදු කරන ඉන්ධන ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙරට ඉන්ධන පිරිපහදු කිරීමේ වත්මන් තත්ත්වයත් සපුගස්කන්දේ වත්මන් ධාරිතාවත් සැබෑ ප්‍රමාණයත් එම පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක නොවීමට හේතු සහ රජය මේ වන තෙක් ඇනවුම් කර ඇති සමස්ත ඉන්ධන ප්‍රමාණය ගැනත් ඔහු විමසා සිටියා.

ඇනවුම් බාර ගෙන ඇති සමාගම් සහ මෙම නැව් සදහා එකග වී ඇති වාරික ප්‍රමාණයත් මේ වන විටත් ගොඩබෑ ඉන්ධන නැව් සඳහා ගෙවූ වාරික ප්‍රමාණයත් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසුවා.

පෘතුගාලය ස්පාඤ්ඤය තුර්කිය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය හා එක්සත් රාජධානිය මේ තෙල්මිල ඉහළ යාම නිසා මිල අඩු කරන්න කටයුතු කර ඇති බවත් රජය අතිරික්ත ලෙස ඉතිරි කර ඇති මුදල් උපයෝගී කර ගෙන වැඩ කරන ජනතාවට මැද පන්තිය ඇතුළු සාමාන්‍ය ජනතාවට සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවා.

Share.
Leave A Reply

Exit mobile version