ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩු හත, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු එම සංකීර්ණයේ පිහිටි වෙනත් අධිකරණ වෙත යොමු කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) දැනුම් දුන්නා.
එසේම, සැකකාරියට එරෙහිව පවතින එක් නඩුවක සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව අනෙක් නඩුවල සාක්ෂි විභාගයන් අනුපිළිවෙළින් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව ද එදිනට අධිකරණය සිය තීරණය දැනුම් දීමට නියමිතය බවයි ප්‍රකාශ කෙරුණේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබ ඇති මෙම නඩු හතෙන් දෙකක් මේ වන විට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත්, සෙසු නඩු පහ වෙනත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කරන ලෙසත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනවිරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තවද, දැනට විභාග වන නඩු දෙක අවසන් වූ පසු සෙසු නඩු එකින් එක විභාගයට ගන්නා ලෙස ද ඔහු ඉල්ලීම් කළා.
මෙම නඩු සියල්ල එකවර විභාග කිරීමෙන් සැකකාරියට ගැටලුවක් මතු වන්නේ දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී නීතිඥවරයා සඳහන් කළේ, ඇයට තාක්ෂණිකව ගැටලුවක් නොමැති වුවද ඇය පත්ව ඇති මානසික පීඩාව සලකා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.
මෙහිදී රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මේ වන විට විභාග වන නඩු දෙක ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තබාගෙන සෙසු නඩු පහ අනෙකුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස මීට පෙර ද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝගය මැයි 26 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දන්වමින් නඩුව එදිනට කල් තැබීය.

