කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරීක හා මානසික දණ්ඩනය ළමයාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එම අධිකාරිය මේ බව සඳහන් කළේ, අප්‍රේල් 30 දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා පණිවුඩයක් නිකුත් කරමිනි.
ළමයා විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණවලින් නිශ්චිතව මේ බව තහවුරු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
ළමුන් හික්මවීම සඳහා දෙමාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් ලෙස දශක ගණනාවක සිට අප විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිත කරමින් සිටිමු.
ඒ අනුව රටක් ලෙස සංස්කෘතිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ළමුන්ට නිවස තුළදී හෝ පාසල තුළදී ශාරීරික දඬුවම් සිදුකිරීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව ඇය පෙන්වා දෙයි.
1989 දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 19 වගන්තිය යටතේ ළමුන්ට සියළු ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය පිළිබඳව පැහැදිලිව දක්වා ඇත.
ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබීම තුළ 1990 වර්ෂයේ සිටම ජාත්‍යන්තර වශයෙන් බැඳියාවක් දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ අවධාරණය කළාය.
රටේ මූලික නීතිය ලෙස සලකන 1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින්ද කිසිදු පුද්ගලයෙකුට හිරිහැර කිරීමකට හෝ කෲර, අමානුෂික හෝ අගෞරවනීය ආකාරයේ සැලකීමකට හෝ දඩුවමකට ලක් නොවී සිටීමට මූලික අයිතිවාසිකමක් තිබේ.
මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය 308 (අ) වගන්තිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද පාසල් විනය පිළිබඳ 12/2016 සහ 11/2026 චක්‍රලේඛ මගින්ද දක්වා ඇත්තේ ළමුන් හික්මවීම සඳහා ශාරීරික හෝ මානසික හිංසනය කිසිසේත් භාවිතා නොකළ යුතුය.
ළමුන් වෙනුවෙන් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2024 වර්ෂයේදී බොගෝටාහීදී පැවැති අමාත්‍යවරුන්ගේ පළමු ලෝක සම්මේලනයේදී දෙනු ලැබූ ප්‍රතිඥා අතරින් එක් සුවීශේෂී පොරෙන්දුවක් වන්නේ ළමුන් හික්මවීම සඳහා යොදාගන්නා ශාරීරික දඬුවම් තහනම් කිරීමය.
එම කාර්යය තවදුරටත් ශක්තිමත් කරමින් සුරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පාසල් පරිසරයක් නිර්මාණය සඳහා ධනාත්මක ශික්ෂණය පිළිබඳ පාසල් ගුරුවරුන්ගේ දැනුම සංවර්ධනය කිරීමද කිරීමටද ශ්‍රී ලංකාව එකඟවී ඇති බව ජාතික ළමා අධිකාරිය පෙන්වා දෙයි.
ශාරීරික දණ්ඩනය යනු ළමයෙකුට සිදුකරන ශාරීරික අපයෝජනයක් වන බව එම අධිකාරිය අවධාරණය කළේය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තාවන පැමිණිලි අතරින් දෙවන වැඩිම පැමිණිලි වර්ගය වනුයේ ශාරීරක හිංසනය සම්බන්ධ පැමිණිලි වන අතර වාර්ෂිකව 2000 – 2500ක් අතර ශාරීරික දඬුවම් ප්‍රමාණයක් වාර්තාවේ.

