හෝමාගම හඳයා සහ ලලිත් කන්නංගර නමැති පාතාල නායකයන්ගේ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි යුද හමුදා සක්‍රීය සේවයේ නියුතු කල්ලියක් අවස්සාවේල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිව් දෙනකුගෙන් සමන්විත මෙම පාතාල කල්ලිය අවිස්සාවේල්ල
අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පාතාල කල්ලිය බන්ධනාගාර නිලධාරියා ඝාතනය කිරීමේ සැලසුමට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.බන්ධනාගාර නිලධාරියා සිය රාජකාරි නිමවා බස් රථයෙන් නිවස බලා පැමිණෙද්දී ඇහැළියගොඩ නගරයට ආසන්න ස්ථානයකදී බස් රථයට ගොඩ වී ඔහුට වෙඩි තබා ඝාතනය කිරිමට පාතාල කල්ලිය සැලසුම් කරගෙන සිට ඇත.
මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇත්තේ මීට සතියකට උඩදීය.එහෙත් බන්ධනාගාර නිලධාරියා ඔහු පැමිණි බස් රථය මාරු කර අතරම්ගදී වෙනත් බස් රථයකට ගොඩවීම නිසා ඔහුගේ ජීවිතය අනූනවයෙන් බෙරි ඇති බවද විමර්ශන වලින් හෙළි වී තිබේ.
මෙම ඝාතන සැලසුම පිළිබඳව තොරතුර අවිස්සාවේල්ල පොලිසියට ලැබී ඇත්තේ බස් රථ රියදුරකුගේ මාර්ගයෙන් ය. අදාළ පාතාල කල්ලිය මෝටර් රථයෙන් ඇහැළියගොඩ නගරයට ආසන්න ස්ථානයකට පැමිණ බන්ධනාගාර නිලධාරියා ඝාතනය කිරීමට සූදානමින් සිට ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.
කුරුවිට බන්ධනාගාරයේ විනය අංශයේ රාජකාරි කරන මෙම නිලධාරියා ඉතාම් නීතිගරුක තද තීරණ ගන්නා අයකු බව පොලිසිය පව්සයි. රැඳවියන් නීති විරෝධී කටයුතු වලට මෙම නිලධාරියාගෙන් කිසිම සහයක්නොලැබෙන අතර ඔහු බන්ධනාගාරය තුළ දී ඉතාම දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන අයකු බවද පැවසේ. මේ හේතුව නිසා බොහෝ අපරාධකරුවන් මෙම නිලධාරියා සමග දැඩි වෛරයකින් පසු වී ඇත. හෝමාගම හඳයා සහ ලලිත් කන්නංගර නමැති පාතාල නායකයන්ගේ කල්ලියේ ගෝලයන්ට ද කුරුවිට බන්ධානාගරය තුළ දී මෙම නිලධාරියාගෙන් කිසිම සමාවක් ලැබී නැත.
මේ හේතුව නිසා මෙම නිලධාරියා ඝාතනය කිරීමට පාතාල කණ්ඩායම සැලසුම් කර ඇත. අවස්ථා ග ණනාවකදීම මෙම පාතාල කල්ලියේ සාමාජිකයන් බන්ධනාගාර නිලධාරියාට මරණීය තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අවිස්සාවේල්ල පොලිසිය මෙම ඝාතන සැලසුමට සම්බන්ධ පාතාල සාමාජිකයන් සිව්දෙනෙකු අවිස්සාවේල්ල සහ ඇහැළියගොඩ ප්‍රදේශ වල සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම ඝාතන සැලසුමේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පාතාල සාමාජිකයා යුද හමුදා සක්‍රීය සේවයේ නියුතු අයකු බවද අනාවරණය වී ඇත. අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

