ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක පවසයි.
නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ පදික වේදිකාවල ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.
වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බැවින්, ජනවාරි පළමු වනදා සිට කිසිදු වෙනසකින් තොරව මෙම තීරණය දැඩිව ක්‍රියාත්මක කරන බව නගරාධිපතිවරයා අවධාරණය කර ඇත.

