මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය.
සිය සංචාරයේදී ඔහු දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කර සිටී.
එමෙන්ම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 06කට ද අත්සන් තැබීම ද මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේදී සිදු කිරීමට නියමිතය.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට රාජ්‍ය සංචාරය හේතුවෙන් අද (03) සිට ලබන 06 වැනිදා දක්වා කොළඹ නගරයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර ඇත.
මේ අතර රුසියානු සමූහාන්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
සංචාරය අතරතුර දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.
මීට අමතරව රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේදී කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරත වීමටද නියමිතය.
අද දිවයිනට පැමිණෙන රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ලබන 05වනදා දක්වා මෙරට රැදී සිටිමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

