​උණවටුන ප්‍රදේශයේ සංචාරය කරන විදේශිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ අධික වටිනාකමින් යුත් ස්මාර්ට් ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස්, ගැමුණු පටු මාවත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන තරුණයෙකු වේ.

අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර උණවටුන ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා ගොස් ඇති අතර එම දින 4ක කාලසීමාවේදී විදේශිකයන්ට අයත් ජංගම දුරකතන 4ක් මෙලෙස සොරකම් කර තිබේ. 

මෙම සැකකරුට ස්ථීර පදිංචියක් නොමැති බවත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරන පුද්ගලයෙකු වන බවත් ​මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම අදාළ සැකකරු මීට පෙර වෙනත් අපරාධ හෝ නීති විරෝධී ක්‍රියාවන් සඳහා සම්බන්ධ වී ඇත්ද යන්න සහ අවශ්‍ය කර සිටින අයෙකුද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version