උපුල් සාලිය අලදෙණිය මහතා 1963 මැයි 1 වන දින මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ උපත ලැබීය. ඔහුගේ පියා එස්.එම්. කුඩා බණ්ඩා වන අතර මව ඉන්ද්‍රාවතී විජේසිංහ අලදෙණියය. පවුලේ දෙවැනියා වූ ඔහුට අක්කා කෙනෙකු සහ මල්ලි කෙනෙකුද සිටියහ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සාලිය, උසස් පෙළෙන් පසුව 1989 අප්‍රේල් 21 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්විය. දියතලාව හමුදා පීඨයේ මූලික පුහුණුවෙන් පසුව ඔහු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය ආරම්භ කළේය.

ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ අභීත වීරත්වය, නායකත්වය සහ සහෝදර සෙබළුන් වෙනුවෙන් තම ජීවිතය පවා කැප කළ අතිවිශිෂ්ට නිලධාරියෙකු ලෙස කපිතාන් උපුල් සාලිය අලදෙණියගේ නම සදාකාලිකව සටහන් වී ඇත. ඔහු පෙන්වූ කැපවීම සහ ධෛර්යය නිසාම මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ හමුදා සෙබළෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන “පරම විර විභූෂණ” සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

1990 වසරේදී උතුරු ප්‍රදේශයේ පිහිටි කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා තිබූ කුඩා හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස සාලිය අලදෙණිය පත් විය. උසින් මීටර් 174ක් පමණ වූ මෙම සම්ප්‍රේෂණ කුළුණ උතුරු පළාත තුළ රූපවාහිනී, ගුවන්විදුලි සහ හමුදා සන්නිවේදන කටයුතු සඳහා ඉතා වැදගත් ස්ථානයක් විය.

1990 ජූනි මාසයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් මෙම කඳවුර වට කර දරුණු ප්‍රහාරයක් ආරම්භ කළහ. කඳවුර හුදෙකලා ස්ථානයක තිබීම නිසා ආධාරක භට පිරිස් ලබා ගැනීම ඉතා දුෂ්කර විය. සති ගණනාවක් පුරා ආහාර, ජලය සහ වෙඩි ද්‍රව්‍ය හිඟය අතර සෙබළුන් 60කට වැඩි පිරිසක් සාලිය අලදෙණියගේ නායකත්වය යටතේ අභීතව සටන් කළහ. ත්‍රස්තවාදීන් සිංහලෙන් නිවේදනය කර යටත් වීමට කියූවත්, සාලිය අලදෙණිය සහ ඔහුගේ සෙබළුන් අවසන් මොහොත දක්වා සටන් කිරීමට තීරණය කළහ.

ඉහළින් කඳවුර අතහැර පසුබසින ලෙස නියෝග ලැබුණද, ඒ වන විට තුවාල ලබා සිටි සෙබළුන් රැගෙන යාමට හැකියාවක් නොතිබුණි. තම සහෝදර සෙබළුන් අතහැර යාමට අකමැති වූ සාලිය අලදෙණිය “අපි අවසන් මොහොත දක්වා එකට සටන් කරමු” යැයි ඔවුන් උත්සාහ දුන්නා.

අවසානයේ 1990 ජූලි 12 වන දින දරුණු සටනකින් පසු කොකාවිල් කඳවුර සතුරා අතට පත් විය. සතුරා අතට පත්වීම වැළැක්වීම සඳහා කඳවුර විනාශ කරන ලෙස ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටීමට පවා ඔහු සූදානම් විය. එම සටනේදී සාලිය අලදෙණිය ඇතුළු හමුදා සෙබළුන් රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළහ.

එම අසමසම වීරත්වය වෙනුවෙන් 1994 ජූනි 21 දින ඔහුට මරණයෙන් පසු කපිතාන් ධුරයට උසස් කර පරම විර විභූෂණ සම්මානය පිරිනමන ලදී. කපිතාන් සාලිය අලදෙණිය රට වෙනුවෙන් දිවි පිදූ විට ඔහු 27 හැවිරිදි එක්දරු පියෙකි.

කොකාවිල් සටන ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ පමණක් නොව ලෝකයේම සාමුහික වීරත්වය පෙන්වූ විරල සටනක් ලෙස සැලකේ. එහිදී සෙබළුන් 64 දෙනෙකු අවසන් මොහොත දක්වා සටන් කරමින් අසමසම ධෛර්යයක් පෙන්වීය.

කපිතාන් උපුල් සාලිය අලදෙණියගේ නම, රට වෙනුවෙන් ජීවිතය පූජා කළ අමරණීය වීරයන් අතර සදාකාලිකව සටහන්ව පවතින අතර, ඉදිරියේදී ඒ වීරත්වය සිනමාවෙන්ද දැකීය හැකි වනු ඇත….

Share.
Leave A Reply

Exit mobile version