අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරලීමෙන් රොහින්ග්‍යා සරණාගතයින් සහ බංග්ලාදේශ ජාතිකයන් 250 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
පිරිමින්, කාන්තාවන් සහ ළමුන් රැගත් මෙම බෝට්ටුව, “තද සුළඟ, රළු මුහුද සහ අධික පිරිසක් සිටීම” හේතුවෙන් ගිලී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.
මියන්මාරයේ පවතින මර්දනය සහ සිවිල් යුද්ධයෙන් බේරීම සඳහා සෑම වසරකම දහස් සංඛ්‍යාත රොහින්ග්‍යා වැසියන් අනාරක්ෂිත බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් පලා යාමට උත්සාහ කරමින් තම ජීවිත අවදානමට ලක් කරනවා.
ඉන්දුනීසියාව බලා යාත්‍රා කරමින් තිබූ බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායට (BCG) අයත් නෞකාවක් මගින්, අප්‍රේල් 9 වැනිදා මුහුදේ පාවෙමින් සිටි එක් කාන්තාවක ඇතුළු නව දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බව AFP පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ලුතිනන් කොමදෝරු සබ්බීර් අලාම් සුජාන් පැවසුවේ, ගැඹුරු මුහුදේ බැරල් සහ ලී කොටන් ආධාරයෙන් පාවෙමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු නෞකාවට නිරීක්ෂණය වූ අතර පසුව ඔවුන් බේරාගත් බවයි.
එසේම මෙලෙස බේරාගත් නව දෙනාගෙන් හය දෙනෙකු මිනිස් ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන අතර, පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.
බේරුණු අයෙකු පැවසුවේ, මැලේසියාවේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ජාවාරම්කරුවන් විසින් තමන්ව මෙම බෝට්ටුවට නංවා ගත් බවයි.
බෝට්ටුව පෙරළීමට පෙර දින හතරක් ගමන් කළ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
රොහින්ග්‍යා වැසියන් දීර්ඝ කාලයක් තිස්සේ අවතැන්ව සිටීම සහ ඔවුන් සඳහා ස්ථිර විසඳුමක් නොමැති වීමේ “බිහිසුණු ප්‍රතිඵල” මෙම සිදුවීමෙන් පිළිබිඹු වන බව UNHCR ආයතනය පෙන්වා දෙනවා.

