මැලේසියාවේ සාබාහ් ප්‍රාන්තයේ වෙරළබඩ ගම්මානයක ඇති වූ ගින්නකින් නිවාස 200ක් පමණ විනාශවී තිබේ.
එරට රාජ්‍ය පුවත් ඒජන්සියක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද (19) අලුයම 01.32ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.
මෙම ප්‍රදේශයේ ලීවලින් ඉදිකරන ලද නිවාස විශාල ප්‍රමාණයක් තිබීම සහ අධික සුළං තත්ත්වයක් පැවතිම ගින්න පාලනය කිරීම අපහසු වූ බව සඳහන්ය.
පුරවැසිභාවය නොමැති සහ ආදිවාසී කණ්ඩායම් ඇතුළුව රටේ දුප්පත්ම ප්‍රජාවන් මෙම ප්‍රදේශයේ වාසය කළ බවට මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
විපතට පත් වූවන් සඳහා මූලික ආධාර සහ තාවකාලිකව නැවත පදිංචි කිරීම සඳහා ෆෙඩරල් රජය සබාහ් බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් සඳහන් කර ඇත.
ගින්නෙන්, පවුල් 89කට අයත් පුද්ගලයින් 445 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

