මරදන්කඩවල, කොල්ලකුට්ටිගම ප්රදේශයේ ඉදිකරමින් පවතින නිවසක තිබූ අනාරක්ෂිත ජල වළකට වැටීමෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (07) රාත්රී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය දරුවා තම සහෝදරයන් දෙදෙනෙකු සහ මිතුරන් කිහිපදෙනෙකු සමඟ නිවසට නුදුරින් පිහිටි ඉදිකරමින් පවතින නිවෙසක පරෙවියන් ඇල්ලීම සඳහා ගොස් ඇති බවයි.එහිදී ක්රීඩා කරමින් සිටියදී දරුවා නොසිතූ ලෙස මෙම අනතුරට මුහුණ දී ඇතැයි ද පොලිසිය පවසනවා.
අදාල ඉදිකිරීම් භූමියේ තිබූ අඩි 07ක් පමණ ගැඹුරු, ආවරණය නොකරන ලද ජලය පිරී තිබූ වළකට දරුවා වැටී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.මියගිය දරුවා මරදන්කඩවල ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 06ක පිරිමි දරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර, මරදන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

