2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ අද (05) ආරම්භ වුණා.
එහිදී පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ එම ස්ථානයේ සිටි පිරිසක් අනතුර සිදු කළ වාහනය පෙන්වීමෙන් පසු තමා එම වාහනය ලුහුබැඳ ගිය බවයි.
පසුව තමා අදාළ වාහනය ඉදිරිපසින් ගොස් යතුරුපැදිය නවතා වාහනයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයාට පහර දීමට උත්සාහ කළ බවත් එහිදී රියැදුරු අසුනේ සිටි පුද්ගලයා, “මම පාඨලී චම්පික” යනුවෙන් සඳහන් කළ බවත් සාක්ෂිකරු කියා සිටියා.
එම පුද්ගලයා අද අධිකරණයේ සිටිනවාදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගන් ප්‍රශ්න කළ අතර ඒ අනුව විත්ති කූඩුවේ සිටි පාඨලී චම්පික රණවකව මෙම සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබුවා.

