බගවන්තලාව පොලිසිය ඉදිරිපිටදී සිදු වූ මාරක අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථය පොලිසිය ඉදිරිපිට නවතා තිබූ අතර ඊට නුදුරින් පණ ගන්වා තිබූ පෞද්ගලික බස් රථයක් රියැදුරු නොමැතිව ඉදිරියට ගොස් ලොරි රථයේ ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී ලොරිය අසල සිටි තරුණයා ලොරියට සහ බස් රථයට මැදිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර එහිදී 28 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව ප්රදේශයේම පදිංචිව සිටි නළ ළිං අලුත්වැඩියා කරන කාර්මික ශිල්පියෙක්.
නළ ළිං අලුත්වැඩියා කරන සේවකයන් පිරිසක් රැගත් ලොරි රථයක් බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නවතා තිබී ඇති අතර ඒ අසලම පිහිටි බස් නැවතුම්පොළේ හැටන් බලා ධාවනය වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථයක රියැදුරා, එහි වැකුම් (නල පීඩනය) පිරවීම සඳහා බස් රථය පණ ගන්වා තිබෙනවා.
අනතුරුව රියැදුරා අසුනෙන් බැස පිටතට ගොස් සිටි අවස්ථාවේදී, බස් රථය එකවරම රියැදුරා නොමැතිව ඉදිරියට ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.
රියැදුරා අසුනේ නොසිට බස් රථය පණ ගන්වා තැබීම සම්බන්ධයෙන් සහ නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත පෞද්ගලික බස් රථයේ රියැදුරා බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

